ප්‍රවීන ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ අද දින අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඒ මහතා 64 වන වියේ පසුවු අතර මා ළඟටම තව ළං වෙලා, මහ වැස්සට පෙර අඳුර ගලනවා, විකසිත පෙම් පොකුරු පියුම් වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කළ ඔහු අති දක්ෂ තබ්ලා වාදකයෙකු ද වනවා.
මේ අතර ප්‍රවිණ ඡායාරූප ශිල්පී දයාන් විතාරණ සිය මුහුණු පොතේ සංවේදී සටහනක් තබමින් මෙලෙස සඳහන් කර සිටියා.
"මා ළඟටම තව ළංවෙලා ,
හිඳින්න නිහඬ නුවන් පියා
කියා එදා ඔබ ගැයුවත්
අහෝ අද ඔබ නිහඬව නුවන් පියා
හෙළ ගී අඹරේ වලාකුළු පෙළින් බැස යයි.....
ඩබ්. ඩී. ආරියසිංහ සංගීතවේදියාණන්ට නිවන් සුව අත්වේවා !!!
අපට සිටිය ප්‍රතිභාපූර්ණ ජේෂ්ඨ ගායනවේදියෙක් වූ ඩබ්. ඩී. ආරියසිංහයන් අද දින අභාවප්‍රාප්ත වූ අතර මියයන විට ඔහු 64 හැවිරිදි වියෙහි පසු වූවේය.
භාවාත්මක හඬක් හිමි ගායනවේදීන් අතරින් මුදුන්පත වැජඹුණු ඔහු ගැයූ ආචාර්ය අජන්තා රණසිංහයන් ලියා තිස්සසිරි පෙරේරා සංගීතවත් කළ "මා ළඟටම තව ළංවෙලා........." ගීතය අතිශය ජනාදරයට පාත්‍ර වූ මනරම් ගීතයකි.
එමෙන්ම ඔහු සහ විශාරද රශ්මි සංගීතා ගයන යසනාත් ධම්මික බණ්ඩාර ලියා නවරත්න ගමගේ සංගීතවත් කළ "වළාකුළු පෙළින් බසින්න..........", නිලාර් එන්. කාසිම් ලියූ "හිත නාඳුනන කිරිල්ලී.........", නදීකා විජේසිංහ ලියා සුසිල් අමරසිංහ සංගීතවත් කළ "තෙරක් නොමැති මහ සාගරයක් මැද........" සහ ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ ලියා විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කළ "තිසර තුඩට........" වැනි මනරම් ගී රැසක් ඔහුගේ ගීතාවලෝකනයේ විරාජිත ය.
නැසීගිය අග්‍රගණ්‍ය සංගීතවේදියෙක් වූ ආර්. ඒ. චන්ද්‍රසේනයන්ගේ දුවණිය වූ දර්ශනී චන්ද්‍රසේනගේ ආදරණීය සැමියා වන ඩබ්. ඩී. ආරියසිංහයන්ගේ පුතු හර්ෂදේව නව පරපුරේ කැපීපෙනෙන ගායකයෙකි. ඉකුත් වසරේ ආරියසිංහ පිය පුතු දෙපළ ගීතවත් වූ "ළෙය සහ ළය" වැඩසටහනට ද ඉමහත් ජනතා ප්‍රසාදය හිමි වීය.
ආදරණීය බිරිඳ දර්ශනී චන්ද්‍රසේන, පුතු හර්ෂදේව ඇතුළු පවුලේ සැමට මගේ සාතිශය සංවේගය පළ කරමි.
අවසන් කටයුතු පසුවට දැනුම් දෙන අතරම ඔහුට මේ රුදුරු සසර ගමන හමාර කොට ඉක්මණින් නිවන් පුර දොරටු වෙත ගමන් කරන්නට පිංපෙත් පමුණුවමි !!!"